මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 මාර්තු 26) පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී. මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරුපැදියක් පරීක්‍ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට අධික ප්‍රමාණයක් (ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 170), කේරළ ගංජා මිශ්‍රිත තවත් මත්ද්‍රව්‍ය (මාවා)ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයකුත් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල සැකකරු, සොයා ගන්නා ලද මත් ද්‍රව්‍ය ප්‍රමාණය සහ යතුරුපැදිය නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික භාරයට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 34 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, සැකකරු, යතුරුපැදිය සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නොරොච්චෝලය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.