වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කෙරේ.

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම නාවික හමුදාව විසින් සිදු කරමින් පවතී.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, එම රෝහලෙහි වසංගත රෝග නිවාරණ ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 මාර්තු 23 වන දින ආරම්භ කරන ලද අතර. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායක ගේ මගපෙන්වීම යටතේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා සහභාගීවී සිටී. මෙහිදී රෝහලෙහි වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදුසු වන පරිදි කොටස් වෙන් කිරීම සිදුකරමින් පවතී.

තවද, ඉදිරියේදී ද වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයන් වෙත ලබා දිය හැකි උපරිම සහය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.