සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 25 වන දින ජයනගර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මාර්තු 25 වන දින ජයනගර් වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුමක් අතර තුර වෙරළ තීරයේ නවතා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී එහි තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම සිදු කර ඇති බවට සැක කල හැකි සාධක සොයා ගැනීමට හැකි විය. නාවික හමුදාව සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පුපුරණ දුව්‍ය යොදා මසුන් අල්ලන ලද පුද්ගලයින් මෙම යාත්‍රාව අත හැර දමා යන්නට ඇති බවට සැක පල කරන අතර, අදාල යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙසේ නාවික හමුදා භාරයට ගන්නා ලද යාත්‍රාව, වෙඩි බෙහෙත් පුපුරවා හැරීමට යොදා ගන්නා විෂයයන් සහ එහි තිබූ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.