පොන්නාලේ මාර්ග බාධකයේදී ඉන්දියානු ජාතිකයෙක් සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 මාර්තු 24 වන දින යාපනය, පොන්නාලේ මාර්ග බාධකයකයේදී සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්ෂාවට ලක් කර ඉන්දියානු ජාතිකයෙකු සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

උතුරු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 24 වන දින යාපනය, පොන්නාලේ මාර්ග බාධකයකයේදී යතුරු පැදියක ගමන්ගත් සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම පුද්ගලයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති ඉන්දියානු ජාතිකයෙකු බවට අනාවරණය කරගන්නා ලදි. තවද ඔහු පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඔහු සතුව තිබී දේශිය රියදුරු බලපත්‍රයක් සොය ගැනීමට හැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එම පුද්ගලයා සහ ඔහු පැමිණි යතුරු පැදිය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

එසේම, මාර්ගයේ ගමන් ගත් තවත් සැක සහිත යතුරු පැදියක් පරීක්‍ෂා කිරීමේදී එම යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමානයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනා සහ යතුරු පැදියද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දියානු ජාතිකයා වයස අවුරුදු 48ක් වන ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 30 සහ 43 වන වියෙහි පසුවන යාපනය කරෙයිනගර් සහ කොණ්ඩවිල් (බටහිර) යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටත් කරුණු අණාවරණය කර ගන්නා ලද අතර, ඉන්දියානු ජාතිකයා, අනෙක් පුද්ගලයින් දෙදෙනා, කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරු පැදි දෙක (02) ඉදිරි විමර්ශන කටයුතු සඳහා වඩුකෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.