සැම්බියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 23) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 23) මෙලෙස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සංජීව ඩයස් විසින් සැම්බියානු යුද්ධ හමුදාධිපති උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඒ අනුව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන විසින් පිළිගන්නා ලද අතර, ආඥාපති සම්මන්ත්‍රණ ශාලාවේදී සැම්බියානු යුද්ධ හමුදාධිපති ඇතුළු පිරිස සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිදු කරනු ලබන පුහුණුවීම් සහ කාර්යයන් පිළිබඳව හැදින්වීමක් සිදු කරන ලදි. එසේම මෙම අවස්ථාව සනිටුහන් කරමින් සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.

ඉන් අනතුරුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු පාසල් නිරීක්‍ෂණයක නිරත වූ සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස සඳහා එම පාසල් භාර නිලධාරීන් විසින් අදාල පාසල් මගින් සිදු කරනු ලබන පුහුණූවීම් පිළීබඳව දැනුවත් කිරීමක් සිදු කිරීමට කටයුතු කරන ලද අතර, ත්‍රිකුණාමලය වරාය ඇතුලත මුහුදු සංචාරයකද නිරත විය.