බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙක් (09) 2020 පෙබරවාරි 22 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මුහුදු මාර්ග ඔස්සේ මෙන්ම රට අභ්‍යන්තරයේ ද සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීමේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙන අතර, එහි තවත් එක් විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, සෙම්බල්තෙට්ටි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදි බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටියදී මෙලෙස මෙම සැකකරුවන් පිරිස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදී ඔවුන් සතුව තිබී ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක් (01) සහ වැලි කියුබ් 0.5 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, එම සැකකරුවන් නවදෙනා (09), ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථය සහ වැලි කියුබ් 0.5 වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසිය වෙත භාර දෙන ලදි.