පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින නච්චිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නච්චිකුඩා ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම මසුන් තොගය ඩිංගි යාත්‍රාව මගින් ගොඩබිමට රැගෙන විත් බෙදා හැරීමට සුදානම් කර තිබියදි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අදාල සැකකරුවන් වයස අවුරුදු 20, 26, 27සහ 50 වන වියෙහි පසුවන නච්චිකුඩා, පුනගාරි සහ වෙලනි යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා භාරයටගත් සැකකරුවන්, මසුන් තොගය, ඩිංගි යාත්‍රාව සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. තවද, මෙවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත දැඩි ලෙස විනාශවිමේ තර්ජනයට ලක් වන අතර, නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.