නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 22 වන දින සිලාවතුර, පොත්කේනි ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 120 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

වයඹ නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ සිලාවතුර, පොලිසිය එක්ව සිලාවතුර, පොත්කේනි ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුමක් අතරතුරදී මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව එම සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 120 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ අතර, එහිදී අදාල සැකකරුවන් දෙදෙනා සමග එම කේරළ ගංජා ප්‍රමාණය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනාගේ වයස, අවුරුදු 29 ක් වන බවට තහවුරු කරගෙන ඇති අතර, ඔවුන් මන්නාරම සහ පන්දාරවේලි යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට වැඩිදුරටත් කරුණු අනාවරණය කරගන්නා ලදි. අත්අඩංගුවට ගන්නා ලද සැක කරුවන් දෙදෙනා (02) සහ කේරළ ගංජා ග්‍රෑම් 120 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සිලාවතුර පොලිසිය මගින් සිදු කරනු ලබයි.