ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලැබූ පාඨමාලාව සාර්ථකව නිමා වෙයි

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාව 2020 පෙබරවාරි මස 21 වන දින සාර්ථකව නිමා වන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාඨමාලාව පසුගිය 10 වන දින ආරම්භ කළ අතර, ඒ සඳහා බංගලාදේශ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් (01) නාවික දියත් විධානයේ නාවික පුද්ගලයින් 08 ක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් 07 ක් සමග දහසය දෙනෙකු (16) ඇතුළත් විය. ඒ අනුව, පාඨමාලාව සාර්ථකව හදාරණ ලද නාවික පුද්ගලයින් සඳහා සහතික පත් ප්‍රධානය 2020 පෙබරවාරි මස 21 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී සිදු කළ අතර, බලඝණ මුලස්ථානයේ පුහුණු නිලධාරි, කොමාණ්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව දින 12 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වූ අතර, මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදි.