ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2020 ජනවාරි 30 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු නාවික විධානයේ සිදු කරනු ලැබූ මුර සංචාරයක් අතරතුරදී මුලතිව් සිට නාවික සැතපුම් අටක් (08) නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති වි‍රෝධී ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එම යාත්‍රාවේ සිටි ධීවරයින් අට දෙනෙක් (08) නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, අදාල යාත්‍රාව සහ ධීවරයින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එන ලදි.

ඒ අනුව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ මෙම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.