තහනම් ධීවර දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 30 වන දින ඒරාවූර් ප්‍රදේශයේදී තහනම් දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධි ධීවර ක්‍රම භාවිතයෙන් වන සාගරික පරිසර හානිය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර‍ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව වවුනතිවු, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඒරාවූර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු වෙළදසැලක් පරීක්‍ෂා කර ඇති අතර, එහි තිබී විකිණීම සදහා සගවා තිබූ තහනම් දැල් දහයක් (10) සොයා ගැනීමට හැකි වී ඇත. එහිදී වෙළඳසැලේ සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් වයස අවුරුදු 20 සහ 30 වන වියෙහි පසුවන ඒරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

සැකකරුවන් සමග අත් අඩංගුවට ගත් තහනම් දැල් තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මඩකළපුව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරී කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදී ද මෙවැනි තහනම් දැල් භාවිතා කරන පුද්ගලයින් වැටලීම සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු නාවික හමුදාව නිරන්තරයෙන් සිදු කරනු ලබයි.