ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබයි. ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, එහි මුලික අරමුණ වන්නේ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගරයට මුදා හැරිමයි.

ඒ අනුව, කළුතර ක්‍ෂණික ක්‍රියාකාරී බලඝන පුහුණු ඒකකයට අයත් වෙරළ තීරයේදී හමු වූ කැස්බෑ බිත්තර නාවික හමුදාව විසින් එම ස්ථානයේම ආරක්‍ෂිතව රැකබලා ගැනීමෙන් පසු 2020 ජනවාරි මස 25 වන දින කැස්බෑ පැටවුන් හතලිස්දෙනෙකු (40) පමණ නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට කටයුතු කරන ලදි. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වෙරළ සංරක්‍ෂණ කටයුතු සහ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් හේතුවෙන් මේ ආකාරයට කැස්බෑවන් බිත්තර දැමීම සඳහා මෙවැනි වෙරළ තීරයන් වෙත පැමීණීමේ වර්ධනයක් ඇති බව නිරීක්‍ෂණය වේ.

තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.