කිලෝග්‍රෑම් 4 කට අධික රත්‍රං සමඟ ඉංදීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින කුදිර‍මලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

කුදිර‍මලේ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම රත්‍රං බිස්කට් 41 ක ප්‍රමාණය සොයාගෙන ඇති අතර රත්‍රං කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග ඉන්දියානු ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ජාතික සැකකරුවන් වසය අවුරුදු 30, 35, 36 සහ 50 වන වියෙහි පසුවන බව හඳුනාගෙන ඇත. තවද, රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද යාත්‍රාවද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණය සහ සැකකරුවන් සිව්දෙනා (04) සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන විවිධ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන නාවික හමුදාව විසින් 2019 වර්ෂයේදී රත්‍රං කිලෝ 11 ග්‍රෑම් 695 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.