නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව මුල්ල්කුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් දැලක් (01), පිටත දහන යන්ත්‍රයක් (01) සහ තවත් ධීවර උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 20 ත් 46 ත් අතර වයස් වල පසුවන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.