මුහුදේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවරයින් පිරිසකට නාවික හමුදා සහාය

ඉන්දියාවේ සිට ධීවර කටයුතු සදහා පැමිණ ධීවර කටයුතු වල නිරතව සිටියදී මුහුදේදී ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සහය ලබා දීමට 2020 ජනවාරි 27 වන දින කටයුතු කරන ලදි.

ඒ අනුව උතුරු නාවික විධානය විසින්, අනලතිව් දූපතට නාවික සැතපුම් 11 ක් බටහිරට වන්නට වූ ජාත්‍යන්තර මුහුදු සීමා‍ව ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කරන ලද අතර, ඒ පිළිබඳව සිදු කළ වැඩිදුර පරික්‍ෂාවේදී එම ධීවර යාත්‍රාවේ එන්ජිම අක්‍රීය වීමෙන් සහ යාත්‍රාව තුළට මුහුදු ජලය කාන්දු වීමෙන් මෙලෙස ආපදාවට ලක්වී ශ්‍රී ලංකා මුහුදු සිමාව දෙසට පාවී පැමිණ ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව යාත්‍රාවේ පිරී තිබූ මුහුදු ජලය ඉවත් කර ඉන්දීය මුහුදු සීමාව වෙත ඇදගෙන ගොස් වෙනත් ඉන්දීය ධීවර යාත්‍රාවක් වෙත භාර දීමට කටයුතු කරන ලදි.

මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ සහ සෙවුම් සහ මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීමට නිරන්තරයෙන් තටයුතු කරනු ලබයි.