හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින යාපනය කොටුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති අතර, එහිදී යාපනය කොටුව අසල සැක කටයුතු ලෙස රැඳි සිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇත. පසුව ඔහු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී ග්‍රෑම් 35කට අධික හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මනිපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු යාපනය, පොලීසිය සිදු කරනු ලබයි.