ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2019 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින මට්ටක්කුලිය, කාකදුපත මුහුදු තීරයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී වූ අතර, මෙවර එම තරඟාවලිය සඳහා දිවයිනේ දක්ෂ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙනෙකු සහ අතර, රුවල් යාත්‍රා 57 ක් පමණ එක්කොට තිබිණි. එම කණ්ඩායම් සියල්ල අභිබවමින් නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට එහිදී සමත් විය.

ඒ අනුව, ජිපී 14 (GP 14) අංශයේ පළමු හා තෙවන ස්ථාන, එන්ටර්ප්‍රයිස් (Enterprise) අංශයේ දෙවන හා තෙවන ස්ථාන, ලේසර් ස්ටැන්ඩඩ් (Laser standard) අංශයේ පළමු දෙවන හා තෙවන ස්ථාන, ලේසර් රේඩියල් (Laser radial) අංශයේ දෙවන ස්ථානය සහ සුලං යාත්‍රා (Windsurfing) අංශයේ පළමු ස්ථානය වශයෙන් ජයග්‍රහණයන් නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය විසින් අත් කර ගැනීමට සමත් විය.