නීති විරෝධීව මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් ඇතුළු ජෙලට්නයිට් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 29 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලී සහ පොඩුවාකට්ටු යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා චාර්ජස් දෙකක් ඇතුළු වෝටර්ජෙල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම මැඩපැවැත්වීම සඳහා සිදු කරනු ලැබූ මෙහෙයුමක් අතරතුරදී නිලාවේලී, සල්ලිසාම්බල්තිව් වෙරළ තීරයේ වෙරළට ආසන්නව පොල් ගසක සුක්‍ෂම ලෙස සඟවා තිබූ චාර්ජස් දෙකක් මෙලෙස සොයා ගෙන ඇත. එහිදී, මෙම චාර්ජස් සකස් කිරීම සඳහා වෝටර්ජෙල් කූරු 01 ක්, අඩි 02 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූල් 02 ක්, විදුලි නොවන ඩෙටනේටර් 02 ක් සහ හඳුනානොගත් වෙඩිබෙහෙත් ග්‍රෑම් 100 ක් යොදා ගෙන ඇති බවට නාවික හමුදාව විසින් හඳුනාගෙන ඇත.

තවද, එදිනම ත්‍රිකුණාමලය, පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයෙකු ගේ බිලි පිත්තට බෑගයක් හමුවී ඇති අතර, ඔහු විසින් එය නාවික හමුදාවට භාර දීමට කටයුතු කර ඇත. පසුව එය නාවික හමුදාව විසින් පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී ජෙලට්නයිට් කූරු 05, ඩෙටනේටර් 03 ක් සහ අඩි 01 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූලක් සොයා ගෙන ඇත. අදාල ද්‍රව්‍ය ආරක්‍ෂිතව නාවික හමුදා භාරයේ තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, මෙම ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගැනීම සඳහා පසුව ලබා ගැනීමේ අදහසින් සඟවා තබන්නට ඇතැයි සැක පළ කරන අතර, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන විශාල හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.