නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 28) ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

දිවයින පුරා සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් සිදු කරනු ලබන වැටලීම්වල තවත් එක් වැටලීමක් මෙලෙස ක්‍රියාත්මක කරන ලද අතර, ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ ගිංගේ පාලම අසල යොදා ඇති නාවික හමුදා මාර්ග බාධකයේදී සැක කටයුතු කැබ් රථයක් නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇති අතර, පසුව මෙම රථය නාවික හමුදාව පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී කැබ් රථය තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි එළුවන් 44 දෙනෙකු සිට ඇති අතර, ඒ අනුව කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම එළුවන් නීති විරෝධී අන්දමින් තෝපුර් ප්‍රදේශයේ සිට මිහින්තලය දක්වා ප්‍රවාහනය කර ඇති අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 27 වන වියෙහි පසුවන මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම සැකකරුවන්, කැබ් රථය සහ එළුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කින්නියා, පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.