69 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව 2019 දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන වශයෙන් එය හැඳින්විය හැක.

බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණාවක් වශයෙන් පැවති එම වැඩසටහන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නාවික හමුදාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළමුව කැලණිය රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව ධර්ම දේශණාමය පිංකම පැවැත්වීය. එහිදී, උදාවන නව වර්ෂය සඳහා නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම, සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන්හට පුන්‍යානුමෝදනා කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද එහිදී සිදු කෙරිණි.

මෙම ආගමික වැඩසටහන සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.