කේරළ ගංජා ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 25 වන දින අනුරාධපුරය, පරසන්ගස්වැව ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 165 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව ‌සහ සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අනුරාධපුරය, පරසන්ගස්වැව ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරිම් වලදී මෙම කේරළ ගංජා අලෙවිය පිණිස රැගෙන යමින් සිට ඇති බවට කරුණු අණාවරණය කරගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය සහ පුද්ගලයා නාවික හමුදා බාරයට ගන්නා ලදි.

තවද, නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පරසන්ගස්වැව පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.