මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් සහ අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා වෙළඳසැලක් තුල සඟවා තිබු මදන මෝදක 506 ක් සොයා ගෙන ඇති අතර, එහිදී ‍එම වෙළඳසැලෙහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත් අඩංගුවට පත් පුද්ගලයා 31 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී මොහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් කරුණු අනාවරණය කරගෙන ඇත.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම අතරතුරදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම ත්‍රිරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ කේරළ ගංජා ග්‍රෑම් 65 ක ප්‍රමාණය සොයාගෙන ඇති අතර, එහිදී මෙම සැකකරු සහ ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එම සැකකරු වයස අවුරුදු 31 වන ත්‍රිකුණාමලය, විලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත් අඩංගුවට ගත් පුද්ගලයින්, ත්‍රිරෝද රථය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබන අතර, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මගපෙන්වීම සහ උපදෙස් මත මුහුදු මාර්ග ඔස්සේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර නාවික හමුදාව විසින් ඉදිරියටත් ඉටු කරමින් සිටියි.