අටවන ලද ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 32 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 24 වන දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල සිරවී සිටි කැස්බෑවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. එහිදී කැස්බෑවන් 25 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.