06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රීලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය 2019 නොවැම්බර් 21 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම සම්මන්ත්‍රණය සඳහා බංගලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා නිලධාරින් 26 දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, මෙම සම්මන්ත්‍රණයේදී වර්තමානයේ සාගරික ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්, මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම, මිනිස් ජාවාරම පිටුදැකිම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම, සාගර දුෂණය පිටු දැකීම, දේශ සිමා ආරක්ෂාව වැනි විවිධාකාර සාගරික මෙහෙයුම් වල නිරතවන විවිධ රටවල නාවික නිලධාරින්ට තමන් මුහුණ දෙන ගැටළු සාකච්ජා කර විසඳුම් සෙවිම සඳහා මෙන්ම නාවික සංග්‍රාමික කටයුතු වලට අදාල ජාත්‍යන්තර නීතිය බලාත්මක කීරීමේ ගැටළු සහ අභියෝග සාකච්ඡා කිරිමට හැකියාවක් ලැබිණි.

තවද, මෙවර සම්මන්ත්‍රණයේ “නාවික යුධ කටයුතු වලට අදාල නීතිය” (ජාත්‍යන්තර මානුෂිය නීතිය) යන තේමාවට අනුව නාවික සංග්‍රාමික තත්වයක් තුල පැනනගින සංකීර්ණ අභියෝග මෙන්ම සාගරය අාශ්‍රීත මානුෂිය ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබුණු අතර, පුරා දින 3 ක කාලයක් පැවති 06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය ඉතා සාර්ථක අයුරින් මෙලෙස නිමාවට පත් විය.