සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2019 නොවැම්බර් 21) වන දින හම්බන්තොට වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

නෞකාව මෙරට රැදී සිටි කාල සීමාව තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසක් සඳහා සහභාගී වන ලදී. ඒ අනුව, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා තරඟ කිහිපයක් පැවැති අතර, එය වොලිබෝල් සහ කඹ ඇදීම යන තරඟ ඉසව් වලින් සමන්විත විය. ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා උණුසුම් මුහුනුවරක් ගත් මෙම ක්‍රීඩා තරඟාවලිය දෙරටේ නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතාවය මෙන්ම අන්‍යොන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීමට මහත් පිටුවහලක් විය.

එමෙන්ම, 2019 නොවැම්බර් 20 වන දින දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් ‘පෙරේකොප්’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී නොකෟවේ කාර්ය මණ්ඩලය විසින් ආඥාපති ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ‘පෙරේකොප්’ නෞකාව සිදුකරනු ලබන සේවාවන් සහ එහි රාජකාරී ස්වභාවය පිලිබඳව හැඳින්වීමක් ද එහිදී සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ද සහභාගිවී සිටියහ.

තවද, මෙම සුහද සංචාරය මගින් ශ්‍රී ලංකා සහ රුසියානු නාවික හමුදාවන් අතර, සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමට ද ඉවහල් විය.


සුහද ක්‍රීඩා තරඟ


ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් විසින් නෞකාවේ සිදු කළ නිරික්‍ෂණ චාරිකාව


නෞකාවේ පිටත්විම