තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 20 වන දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 220 දිගැති තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.