දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් ආලියාවලෙයි වෙරළතීරය, සිල්ලාලෙයි හා සවුක්කාඩි අතර වෙරළ තීරය, පෙරුන්කාඩු වෙරළ තීරය, කන්කසන්තුරය වරාය ආශ්‍රිත වෙරළ තීරය, සෑන්ඩ් වෙරළ තීරය සහ මණ්ඩතිව් වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

තවද, වයඹ නාවික විධානය විසින් මුල්ලිකුලම් වෙරළ තීරයේ සිට පූක්කුලම් වෙරළ තීරය දක්වා සහ ආලන්කුඩා හා නොරොච්චෝ‍ලේ අතර වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


උතුරු නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


වයඹ නාවික විධානය ක්‍රියාත්මක කළ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන