ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවාමුක්ත බලකාය වෙත නිවසක් පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත හට අයත් මහනුවර කටුගස්තොට පිහිටි නිවසක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වැඩිහිටි නිවාසයක් ලෙස අළුත්වැඩියා කර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අද (අගෝස්තු 31) විවෘත කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා සේවා මුක්ත බලකාය වෙත පරිත්‍යාග කරන ලදි.

කපිතාන් අනිල් බෝවත්ත වෙත ආනන්ද ජයසිංහ සහ ඉන්ද්‍රා බෝවත්ත යන අය විසින් ත්‍යාගයක් වශයෙන් ලබා දී ඇති මෙම නිවස ඔවුන්ට පිං පිණිස “ඉන්ද්‍රා ආනන්ද” ලෙසින් වැඩිහිටි නිවාසයක් ලෙස නම් කර ඇති අතර, කාමර හතරකින් සමන්විත මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් දස දෙනෙකුට (10) නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.

නාවික හමුදාධිපති තුමා “ඉන්ද්‍රා ආනන්ද”වැඩිහිටි නිවාසය විවෘත කර උත්සව සභාව ඇමතීමෙන් පසුව මෙම නිවාසය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමටද එක්වු අතර, මෙම නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා දායක වු ශ්‍රි ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ නාවික පුද්ගලයින් වෙත තිළිණ ප්‍රධාණයක්ද සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත බලකායේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උපුල් පෙරේරා, කපිතාන් අනිල් බෝවත්තගේ ඥාතින් සහ ගම්වාසීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.