තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

යාපනය, පුන්කුඩිතිවු ප්‍රදේශයේ කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද, ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 අගෝස්තු 30 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

ඒ අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ ඉදිකළ මෙම මුහුදු ජල ප්‍රති ආශ්‍රැතකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පැවරීම ජනාධිපතිතුමන් අතින් කිලිනොච්චිය කලාප අධ්‍යාපනය කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය මගින් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.