විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

බංග්ලාදේශයේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නාවික පුද්ගලයින් සඳහා පවත්වන ලද නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 අගෝස්තු 30 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වූ අතර, මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය, මාලදිවයින යන රටවල වෙරළාරක්ෂක පුද්ගලයින් 20 දෙනෙකු සහභාගී වු අතර, ඒ සඳහා බංග්ලාදේශ නාවික හමුදා පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයින් නාවික පුද්ගලයින් 07 දෙනෙක් ඇතුළත් වේ. තවද, මෙවර එම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් එක් නිලධාරියකු සහ නාවිකයන් 07 දෙනෙකු සහභාගීවී ඇත.

නාවික හමුදා සම්පත්දායකයින් සහ උපදේශකයින් ‍විසින් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී සති 02 ක කාලසීමාවක් පැවැති මෙම පාඨමාලාව තුලදි නෞකා ආරක්‍ෂක ක්‍රම, මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සහ ඒවා හඳුනාගැනීම, උපායශීලී සටන් අනතුරු ආදිය පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.

සමාප්ති උළෙලෙන් අනතුරව, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් රාජකාරිය මුහුදේදී සිදු කරන්නේ කෙසේද යන්න නිරූපණය කිරීම සඳහා පුහුණුවන ලද නිලධාරින් විසින් නිපුණතා සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජපාන වෙරළාරක්ෂක බලකායේ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශකයින්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ වැඩසටහන පිළිබඳ කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍යේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.