නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරයි

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද කරෙයිතිව් දුපතේ, කරේයිනගර් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය 2019 අගෝස්තු 27 වන දින ජනතා අයිතියට පත් කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත උතුරු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය උතුරු නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කර ඇත. මෙම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් තුෂාර සුගතදාස විසින් විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික පුජකවරුන්, කරේයිනගර් ප්‍රාදේශීය සභා ලේකම්, කරේයිනගර් ප්‍රාදේශීය සභා සභාපති, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, කරේයිනගර් රෝහල් කාර්ය මණ්ඩලය සහ උතුරු නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.