නාවික හමුදා මෙහෙයුමකින් බිඩී කොළ තොගයක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූලි 31 වන දින කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කච්චතිව් දූපතේ දකුණු ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරකදී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබී බීඩී කොළ කිලෝග්‍රෑම් 30 ක් සොයා ගැනීමට සමත් ඇත.

‍එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කල මුර සංචාරයක් අතරතුරදී ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 20 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

නාවික හමුදා බාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති අතර, නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ අතහැර දමා ගොස් ඇති බව සැක පළ කෙරේ.

එමෙන්ම, 2019 ජූලි 29 වන දින නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමඟ ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගැනීමට සමත් වීය.