ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් 2019 ජූලි 29 වන දින උදෑසන නාවික හමුදා බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව මුර සංචාරයේ යෙදී සිටි අතරතුර ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව, ‘සාගර’ නෞකාව, මුර සංචාරයේ යෙදි සිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ ද සහාය ඇතිව තලවිල දේවාස්ථානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී පාර්සල් 74 ක අසුරා සඟවා තිබූ මෙම බීඩී කොළ තොගය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, අනතුරුව එම යාත්‍රාව සමඟ පුද්ගලයින් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදා බාරයට ගත් බීඩී කොළ තොගය, යාත්‍රාව සහ පුද්ගලයින් කල්පිටිය පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අදාල බීඩී කොළ තොගය කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදී. තවද, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

එමෙන්ම, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඔස්සේ ධීවරයින් ලෙස පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 27000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.