සුන්දර වෙරළ තීරය සුරැකීමේ නාවික හමුදා වැඩසටහන් මලාවේ තවත් පියවරක් ගිංතොටදී

වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් 2019 ජූනි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාක්මක කරනු ලබන අතර, ඒ අනුව දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’ සහ ‘නිපුණ’ යන ආයතනයන්හි නිලධාරීන් හා නාවිකයන් විසින් ගාල්ල, ගිංතොට වෙරළ තීරයේ එක් රැස්වී තිබූ කසල ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය නාවික නිලධාරීන් සහ නාවිකයන්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකි විය.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.