මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (ජුනි 27) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, කොමදෝරු ධනේෂ් පත්බේරිය නිලධාරි ගේ අධික්‍ෂණය යටතේ මෙම වර්ෂයේ ආරම්භ කරන ලද මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මලාවේ පලමු අධියර 2019 පෙබරවාරි මස ක්‍රියාත්මක කරන ලදී.

සමාජයේ ගැටළුවක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් නාවික හමුදාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, මෙම වැඩසටහනේදී ‘දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව’ පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කරන ලදී

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහනේ දේශන මෙහෙයවන ලද්දේ ප්‍රදීප් කොහොලන්නේගෙදර මහතා සහ මහේෂි මධුවන්ති මහත්මිය විසින් වන අතර, ඒ සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි විය.

තවද, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, ඒ සඳහා ද ශ්‍රි ලංකා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් මෙන්ම සිවිල් ප්‍රජාව ද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විමට කටයුතු යොදා ඇත.