වෘත්තිමය ‍සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ

වෘත්තිමය සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි 27 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවින්ද්‍ර රණසිංහ ගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම වැඩසටහන හවායි හි පිහිටි ඇපෙක්ස් පාරිසරික ආරක්‍ෂක සහ සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි, නිරංජලා කුරේ මහත්මිය විසින් මෙහෙයවන ලදී. එහිදී නාවික හමුදා පුද්ගලයින් ඉංජිනේරු අංශයට අයත් රාජකාරින්, විවිධ යන්ත්‍ර සූත්‍ර සහ කාර්මික උපකරණ හැසිරවිමේදී සහ විවිධ රසායනික සංයෝග අඩංගු ද්‍රව්‍ය අළුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමේදී සිදුවිය හැකි හදිසි අනතුරු මෙන්ම අධික ශබ්දය, ලිස්සායෑම සහ ඇදවැටිම වැනි සිදුවිය හැකි අනතුරු සහ සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුවත් කළ අතර, ආරක්‍ෂක ක්‍රම පිළිබඳව ද නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත සියළුම අංශයන්ට අදාල නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගිවි සිටියහ. තවද, මෙම වැඩසටහනේ දෙවන අධියර 2019 ජුලි 08 වන දින නැගෙනහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය.