බීඩිකොළ කිලෝග්‍රෑම් 1689.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 26 වන දින මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1689.6 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ පාවෙමින් තිබූ පාර්සල් 14 කින් යුත් බීඩී කොළ කිලෝග්‍රෑම් 646.7 ක් සොයා ගෙන ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී තවත් පාර්සල් 33 ක් තුල අසුරා සඟවා තිබූ බීඩී කිලෝග්‍රෑම් 1042.9 ක් සොයා ගෙන ඇති අතර, එහිදී සැක කටයුතු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 වන වියෙහි පසුවන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 18,000 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.