ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 ජුනි 26 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක ‍යාත්‍රාවක් මඟින් කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 45, 47, 50 සහ 51 ක යන වයස්වල පුද්ගලයින් වන අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේවන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලිම සාපෙක්‍ෂව අඩුවි ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.