ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, ඒ සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව නාවික හමුදාව විසින් නාවික පුද්ගලයින් මතට ඇබ්බැහි වීම වලක්වා ගැනීම සඳහා මනෝ උපදේශන නිලධාරීන් මඟින් සියළු නාවික විධාන ආවරණය වන පරිදි මනෝ උපදේශන වැඩමුළු පැවැත්වීම, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය හා එක්ව සිවිල් ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වලක්වා ගැනීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ආවරණය වන පරිදි දීර්ඝකාලීන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වෙළදාම, ළග තබා ගන්නා ලද පුද්ගලයින් සෝදිසි කිරීම් සහ වැටලීම සිදු කර අත්අඩංගුවට ගැනීම ආදි වූ වැඩසටහන් රැසක් ඒ යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන් මාලාවට සමඟාමීව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී අද (ජුනි 25) මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් පවුල්වල ඇතිවන ප්‍රධාන ගැටළු මෙන්ම අනෙකුත් සියලු භෞතික හා මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අමතරව ‍ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණු කර ගනිමින් දිපව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කර ගෙන යනු ලබයි.

එමෙන්ම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදාව දිවයින වටා ඇති සාගර කලාපය ආවරණය වන පරිදි විශාල වැටලීම් ප්‍රමාණයක් සිදු කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුල්වීම වැලැක්වීම සඳහා සුවිශේෂි දායකත්වයක් සපයන අතර, මනා දැක්මකින් යුතුව ඒ සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මක කරමින් ඇත.