ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස අද (ජුනි 21) නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපතිතුමා විසින් ඵලකයක් නිරාවණය කර ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවට අයත් වෙරළ කලාපය සහ වෙරළාශ්‍රිත පරිසර පද්ධතිය අද වන විට තුන් ආකාර තර්ජනයකට මුහුණ පාමින් පවති. ඉන් පළමු වැන්න, විශේෂිත පරිසර පැලෑටි ගහනයන් දුර්වල කරනු ලබන එහි ජිවින්ගේ පැවැත්මට අහිතකර තත්වයන් ගොඩනගන මුහුදේ හා ගොඩබිමේ සිදු වන දුෂණයයි. දෙවැන්න, පමණ ඉක්මවා මසුන් ඇල්ලීම සහ නොවිධිමත් ලෙස සාගර සම්පත් නෙලාගැනීම තුලින් සාගරික ජීවින් සහ පැලෑටි විනාශවී සාගර ජෛව විවිධත්වයේ සමබර පැවැත්මට හානි සිදුවිමයි. නාගරිකරණය හේතුවෙන් මං මාවත් සහ ඉදිකිරීම් පුළුල් වීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට සිදුවන භෞතික හානිය තෙවැනි තර්ජනය ලෙස දැක්විය හැක.

මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සිදුවන මෙම තර්ජන අවම කර ගැනීම සඳහා නිසි දැක්මක්, බලයක් සහ හැකියාවක් සහිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තිරසාර පරිසර පද්ධතියක් ගොඩනැංවීමේ අරමුණ පෙරදැරිව විශේෂිත ව්‍යාපෘතියක් ලෙස මෙම නීල හරිත පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකාව පරිසර සංරක්‍ෂණය සම්බන්ධ අන්තර්ජාතික සම්මුතීන්/ප්‍රඥප්තීන් සහ ගිවිසුම් 41 ක පමණ පාර්ශව කරුවකු වන අතර, පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ඉදිරිපත් කළ තිරසාර සංවර්ධන අරමුණු යටතේ 2025 වන විට ශ්‍රී ලංකාව තුල තිරසාර පරිසර සංරක්‍ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම පිළිබඳ ජාතික දැක්මට අනුව පරිසර සංරක්‍ෂණයට කැපවීම සැමගේ ජාතික වගකීමක් වේ.

නාවික තඨාකාංගණය අක්කර 850 කට අධික භූමි ප්‍රදේශයක් ඇති ඉන් වැඩි කොටසක් හරිත ගහනයෙන් වැසුනු හා නිල් සයුරෙන් වටවූ මනස්කාන්ත භූමියකි. මෙම භූමිය තුල නාවික හා සිවිල් වැසියන් 9000 ක් පමණ ජීවත් වන අතර, තඨාකාංගණය නැරඹීමටද දෛනිකව විශාල දේශීය සංචාරකයන් පිරිසක් පැමිණේ. ඒ අනුව තඨාකාංගණයට පැමිණේනෙ සිවිල් වැසියන් සඳහා පරිසර සංරක්‍ෂණය සම්බන්ධ පනිවුඩය ලබා දී නාවික හමුදාවේ ආදර්ශය සමාජගත කිරීම තුලින් සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාව තුල ආකල්පමය වෙනසක් ඇති කර නීල හරිත දේශයක් උරුම කර දීම මෙම ව්‍යාපෘතිය තුලින් අපේක්‍ෂා කෙරේ. මෙය සමස්ථ ප්‍රජාවටම ආදර්ශයක් මෙන්ම ජනතාව පරිසර හිතකාමිත්වය සඳහා අභිප්‍රේරණය කිරීමේ ඒකකයක් ලෙස නාවික තඨාකාංගණය සංවර්ධනය කිරීම හා නියාමනය කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව නාවික තඨාකාංගණය නීල හරිත පාරාදීසයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම යටතේ සිදුවන ක්‍රියාකාරම් සහ ව්‍යාපෘති වශයෙන්; කඩොලාන නැවත වගාව හා කැස්බෑ සංරක්‍ෂනය, ගස් සිටුවිම, වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීම හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කොරල් නැවත වගාව හා සංරක්‍ෂණය, බලශක්ති සංරක්‍ෂණය, සුර්‍ය බලශක්ති ව්‍යාපෘති, ජල සංරක්‍ෂණ ව්‍යාපෘති, ජිව වායූ ව්‍යාපෘති, අප ජල කළමණාකරණය, ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය, වන සතුන් සංරක්‍ෂණය හා වැසි ජල කළමණාකරණය, අපද්‍රව්‍ය කළමණාකරණය, කඩදාසි භාවිතයෙන් තොර කාර්යාල පරිශ්‍ර ඇති කිරීම සහ නීතියානුකුල ලෙස ධීවර කර්මාන්තය සිදු කිරීම සඳහා ප්‍රජාව යොමු කරවීම යන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

තවද, නාවික තඨාකාංගනය තුල සුහුරු නගර (Smart city) සංකල්පය ක්‍රියාත්මක කිරීම යටතේ ප්‍රධාන දොරටුවෙන් වාහන සහ පුද්ගලයින් ඇතුළුවීමේදී සහ පිටවිමේදී Smart Card ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, සුර්‍ය බලශක්තියෙන් ක්‍රියාත්මක වීථි ලාම්පු ස්ථාපිත කිරීම, තඨාකාංගනය තුල ප්‍රවාහන පහසුකම් සඳහා විදුලියෙන් සහ සුර්‍ය ශක්තියෙන් ක්‍රියාත්මක රථ හඳුන්වාදීම, අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සකස් කරීම, ඩිජිටල් පුවරු මඟින් දෛනික නියෝග සහ නිවේදන ප්‍රදර්ශනය කිරීම, මාසික වාර්ථා අන්තර්ජාලය මඟින් සිදු කිරීම, නිලධාරින් හා නාවිකයින්ගේ අභ්‍යන්තර ප්‍රවාහනය සඳහා පාපැදි හඳුන්වාදීම වැනි පරිසර හිතකාමි ප්‍රායෝගික වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතය.

මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරි කණ්ඩායම් පත්කර ඇති අතර, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ගේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති අධික්‍ෂණ කමිටුව මඟින් මෙම සෑම ව්‍යාපෘතියකම ප්‍රගතිය අධික්‍ෂණය කරනු ලබයි. මෙම නීල හරිත පරිසර සංකල්පය ඉදිරියේදී සෑම නාවික විධානයක් තුලම ස්ථාපිත කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අපේක්‍ෂා කරයි.