ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

සිංගප්පූරුවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා 2019 මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සිංගප්පුරුව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (මැයි 22) දිවයිනට ලඟා විය. සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ සහ නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු උපුල් ද සිල්වා සහභාගිවි සිටියහ. එහිදී නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු විසින් ජ්‍යේෂ්ඨ නිලධාරින් හට පුහුණු සංචාරය පිළිබඳව අදහස් දක්වන ලදී.

තවද, 2019 මැයි 15 වන දින සිංගප්පුරු නාවික හමුදාධිපති, රියර් අද්මිරාල් ලූ චූන් හොං ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලදි. එහිදී එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ රියර් අද්මිරාල් කපිල සමරවිර සහ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් ඩෙමියන් ‍ප්‍රනාන්දු හමු විය. අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.


සිංගප්පුරු නාවික හමුදාධිපති ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ සිදු කළ නිරික්‍ෂණ චාරිකාව


ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු විම