පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්‍ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හංවැල්ලේදී

පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්‍ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳව කළුගල්, හුණුගල් හා ඒ ආශ්‍රිත ව්‍යාපාරයන් පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මැයි 21 වන දින හංවැල්ලේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ විශේෂ අධික්‍ෂණය යටතේ නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්‍ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳව විශේෂයෙන් ගල් වලවල් වල හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි. එහි ආරම්භක වැඩසටහන ඊයේ කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හංවැල්ල සීතාවක ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කළුගල්, හුණුගල් හා ඒ ආශ්‍රිත ව්‍යාපාරයන් පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් 119 දෙනෙකු සහභාගීවී සිටියහ. මෙහිදි නීත්‍යානුකුලව බලපත්‍ර මඟින් ලබා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ඉතා වගකීමෙන් යුතුව අදාල කාර්යය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා නිරන්තර අධීක්‍ෂණයෙන් යුතුව කටයුතු කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීම වලක්වා ගැනීමට හැකි බව අවධාරනය කරන ලදි.

නාවික හමුදා මූලස්ථානය වෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නාවික හමුදා මාණ්ඩලික නිලධාරි (කිමිදුම්), ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) ජනක උඩගේආරච්චි විසින් පවත්වන ලද අතර, මේ සඳහා කොළඹ දිස්ත්‍රික් අතිරේක ‍දිසාපති, සීතාවක ප්‍රාදේශිය ලේකම් සහ කොළඹ දිස්ත්‍රික් පුපුරණ ද්‍රව්‍ය පාලක ද සහභාගිවී සිටියහ.

තවද, පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්විම ජාතික ආරක්‍ෂාව දැඩි අනතුරකට හෙලීමක් බැවින් එහි අහිතකර බලපෑම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව විසින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට අපේක්‍ෂා කරන අතර, සෝදිසි මෙහෙයුම් ද නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

a