ගතවූ පැය 48 ක කාලය තුල නාවික හමුදාව විසින් සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත

ගතවූ පැය 48 ක කාලය තුල ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුකල විශේෂ මෙ‍හෙයුම් මඟින් පුපුරණ ද්‍රව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.

ඒ අනුව, මොල්ලිකුලම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී බෝර වර්ගයේ ගිනි අවි (Shot gun) 05 ක්, ජිව උණ්ඩ 59 ක් සමඟ මුස්ලිම් ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසිය වෙත භාරදිමට කටයුතු කර ඇත.

කල්මුනේ ප්‍රදේශයේ පැලමුණේ වෙරළ තීරයේ තිබී අඩු බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද අඟල් 6 ක් දිග පී.වී.සී බට කැබලි 10 ක් , අඟල් 8 ක් දිග පී.වී.සී බට කැබලි 12 ක් , එම් 16 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන අජීවී උණ්ඩයක්, ගිනි අවි පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන තෙල් බෝතල් 02 ක්, උපකරණ කට්ටල් 02 ක්‍‍‍‍‍ සහ බඳ පටි 02 ක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද පී.වී.සී බට කැබලි ආරක්‍ෂිතව පුපුරවා හැරීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කල නාවික හමුදා පුද්ගලයින් විසින් වෙනත් පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පතක් ලඟතබා ගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට බාරදිමට කටයුතු කර ඇත.

කුරුණෑගල ආරක්‍ෂක විද්‍යාලය ඉදිරිපිට තිබී කඩු දෙකක් සහ පිහි 12 ක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇති අතර, එම ආයුධ කුරුණෑගල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ත්‍රීකුණාමලය, ජින්නපුරම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙරළතීරයට ආසන්නයේ පඳුරක සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් 02, විදුලි නොවන ඩෙටනේටර් 04 ක් සහ අඩියක් පමණ දිග ආරක‍්‍ෂිත වෙඩි නූලක් සොයාගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

කොළඹ අවට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී කසළ බඳුනකට දමා තිබූ ජංගම දුරකථන 10 ක් සොයාගෙන ඇති අතර, එම දුරකථන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා අදාල පොලිසිය වෙත බාරදීමට කටයුතු කර ඇත.

මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී අඟල් 6 ක් දිග ආරක්‍ෂිත වෙඩි නූල් කැබලි 06 ක් සහ අඩියක් දිග ආරක්‍ෂිත වෙඩි නූල් කැබලි 02 ක් සොයාගෙන ඇති අතර, එම වෙඩි නූල් විනාශ කර දැමීමට කටයුතු කර ඇත.

එළුවම්කුලම, මෝදරගම්ආරු ප්‍රදේශයේ දී පසුගිය දිනයන්හීදී සිදුවු පිපිරීම් වලට සම්බන්ධ වීඩියෝ දර්ශන ලඟ තබා ගෙන සිටි සැක කටයුතු මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකු(03) අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව හා සිලාවතුර පොලිස් ස්ථාන වෙත භාරදිමට කටයුතු කර ඇත.

කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයේ දී තම අනන්‍යතාව තහවුරු කර ගැනිමට නොහැකි වූ මුස්ලිම් ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාරදිමට කටයුතු කර ඇත.

කොළඹ අවට ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවටගැනිමට කටයුතු කර ඇත.

ඒ අනුව, එක් සැකකටයුතු පුද්ගලයෙකු ලඟ තිබී ජංගම දුරකථන 07 ක් සොයා ගැනීමටත්, තවත් පුද්ගලයෙකු සතුව බැංකු පාස් පොත් දෙකක් තිබූ අතර, එහි සඳහන් පරිදි මාස 07 ක කාලයක් තුල සව්දිඅරාබියේ සිට රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් ගිණුම්ගත කර ඇති බව අනාවරණ වී ඇත. අනෙක් පුද්ගලයා සතුව සංයුක්ත තැටි 45 ක්, හිස් පතරොම් කොපු 02 ක් සිම් කාඩ්පත් 13 ක් සොයාගෙන ඇත. සොදිසි කිරීම් තුලදී තවත් සැකසහිත ජංගම දුරකථන 03 ක්, ඉස්ලාම් පොත් 19 ක්, සිම්කාඩ්පත් 02ක්, විවිධ බැංකු පාස්පොත් 10 ක්, බැංකු රිසිට්පත් 18 ක්, ATM කාඩ්පත් 04 ක් සහ දමිළ භාෂාවෙන් ලියන ලද සැකසහිත ලිපියක් සොයාගෙන ඇති අතර, අදාල පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කර ඇත.

කොටහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිළ ඇඳුමක් රැගෙන යතුරුපැදියක ගමන් කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොටහේන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

මෝදරගම්ආරු ප්‍රදේශයේ දී නීතිවිරෝධී වීඩියෝ දර්ශන ලඟ තබා ගෙන සිටි සැක කටයුතු මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කර ඇත.

ගාලු කොටුව ප්‍රදේශයේ දී ඊයම් බෝල 669 සහ යතුරුපැදියක අංක තහඩුවක් සමඟ සැක කටයුතු මුස්ලිම් ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ජාඇල ප්‍රදේශයේ දී පකිස්ථානු ජාතිකයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ජාඇල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු (02) හට පමණක් වීසා ඇති බවට තහවුරු කර ගෙන ඇත.

තවද, ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුජනීය ස්ථාන, රෝහල් සහ ප්‍රසිද්ධ ස්ථාන වල පැය 24 පුරා ආරක්‍ෂක රාජකාරින් සිදුකරණු ලැබේ.