ශ්‍රී ලංකාව තුල වේඩිබෙහෙත් පාලකවරු සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශව කරුවන් සමඟ හමුවක් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් පැමිණසිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂාව සහ සංවර්ධනය පිළිබඳ අතිරේක ලේකම් ඩග්ලස් මහතා, “කැළණි ‍ෆයර් ව(ර්)ක්ස්” ආයතනයේ නිලධාරින්, රජයේ වෙඩිබෙහෙත් ගබඩාවේ නිලධාරීන්, පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් සහ බෙදාහරින්නන් ඇතුළු පැමිණ සිටි පිරිස පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රීලංකාව තුල වර්ථමානයේ පවතින වාතාවරණය හමුවේ නීති විරෝධි ලෙස භාවිතාකරන වෙඩිබෙහෙත් මගින් ඇති විය හැකි අනිසි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලදී.

ඒඅනුව, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාව තුල පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනිම සඳහා නිසි ක්‍රම වේදයක් මඟින් රජයේ බලපත්‍ර ලාභී පාරිභෝගිකයින් හට පමණක් වැලිසර, රජයේ වෙඩිබෙහෙත් ගබඩාව (CEFAP) මඟින් පමණක් නිකුත් කරන අතර, යම් යම් අවස්ථාවල එම බලපත්‍ර ලාභී වෙඩිබෙහෙත් බෙදාහරින්නන් මඟින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙඩිබෙහෙත් පිටස්තර පුද්ගලයින් අතට පත්වන බවයි. එසේ ලබා ගන්නා වෙඩිබෙහෙත් නීති විරෝධි මසුන් මැරීමේ සිට ඉතාමත් ව්‍යසනකාරී ක්‍රියාවන් සඳහා යොදාගන්නා බව ද නාවික හමුදාධිපති විසින් අවධාරණය කර සිටියේය.

ජෙලග්නයිට් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කරන වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස ගල් වැඩපලවල් සඳහා බලපත්‍ර හිමි පාලකවරු හරහා බෙදා දීම සිදුකරන අතර, පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නීති විරෝධි ලෙස ලඟ තබාගත් වෝටර්ජෙල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. මේ අනුව 2017 වසරේ කිලෝග්‍රෑම් 59 ක්, 2018 කිලෝග්‍රෑම් 94 ක් සහ 2019 වසරේ මේ වනවිට කිලෝග්‍රෑම් 72 ක් අත්අඩංගුවට ගැනිමට සමත් විය

තවද, පාස්කු ඉරු දින සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයන්ට සම්බන්ධ ස්ථානයන් වල සිදුකළ වැටලීම් වලදී ද වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්‍ෂක අංශ සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධි ආකාරයෙන් මෙලෙස පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රීයාමාර්ග ගැනීමට කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.