ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සහ මුල්කඩ පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවට පෙර ඉවත් කිරීමට ඊයේ (අප්‍රේල් 29) නාවික හමුදාව කටයුතු කරන ලදී.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගංඟාවල ජල මට්ටම ඉහල යමින් පවතී. ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේ සහ මුල්කඩ පාලමෙහි විශාල උණ පඳුරු, ගස්කොලං හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවධානමට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව ඊයේ කටයුතු කර ඇත.

රටේ වර්ථමාන ආරක්‍ෂක තත්වය හමුවේ සිදුකරනු ලබන විශේෂිත ආරක්‍ෂක වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගල‍යින් වැඩි වශයෙන් යොදවා ඇති වාතාවරණයක් යටතේ මෙම ගංවතුර ආපදා තත්වය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානය භාර අඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණයෙන් ‍දකුණු නාවික විධාන කිමිදුම් අංශයේ සහ මැරීන් බලකායේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිවිල් ජනතාවගේ ද සහාය ඇතිව මෙම කර්තව්‍ය සිදු කෙරුණු අතර, ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයට මුහුණ දීමට ජනතාව සමඟ අත්වැල් බැඳගැනිමට නාවික හමුදාව සූදානමින් සිටී.


වක්වැල්ල පාලමෙහි කුණුරොඩු ඉවත් කිරිම


මුල්කඩ පාලමෙහි කුණුරොඩු ඉවත් කිරිම