නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් නාවික හමුදා යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 23, 27, 29, 31, 32, සහ 39 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, පිටත දහන යන්ත්‍ර 03 ක් සහ නීති විරෝධී ධීවර දැල් 14 ක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 30 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, නීති විරෝධි ධීවර දැල්, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.