පානම කළපුවේ දියේ ගිලෙමින් සිටි තරුණියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

පානම කළපුවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.

පානම ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් අතර වු මෙම තරුණිය දිය නෑම සඳහා කළපුවට බැස ඇති අතර, එහිදී ඇය දියේ ගිලෙනබව නිරීක්‍ෂණය කළ පානම, වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක් විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම තරුණිය නිරුපද්‍රිතව බේරාගෙන ඇයගේ ඥාතීන් හට භාරදීමට කටයුතු කෙරිණි.

මෙසේ ‍බේරා ගනු ලැබූ තරුණිය වයස අවුරුදු 18 ක පමණ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

තවද, ඊයේ දිනයේදී නුවර එළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනීමට සමත් විය. එමෙන්ම අවුරුදු නිවාඩු සමයේ විනෝද චාරිකාවන් වල නිරතවන ජනතාව විවිධ අනතුරුදායක ස්ථාන වල දිය නෑමට පෙළෙඹෙන හෙයින් ජීවිත හානි සිදුවීමේ අවදානම වැඩි බව නිරීක්‍ෂය වන අතර, ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සිටින ආරක්‍ෂිත ස්ථාන පමණක් දිය නෑම සඳහා තොරා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.