දියේ ගිලී අතුරුදන්වු තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ගලබඩ ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 19) සමත්ව ඇත.

නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ගලබඩ ඇල්ල නැරඹීමට පැමිණි තරුණයෙකු එම දිය ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන්ව ඇති බවට නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 18) නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව,බටහිර නාවික විධානය‍ට අනුයුක්ත 06 දෙනෙකුගෙන් යුතු නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව අද උදෑසන මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම තරුණයාගේ මෘත දේහය සොයාගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මිය ගිය තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන පිරිමි අයෙකු වන අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා නාවලපිටිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.