නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ නයිජිරීයානු ජාතිකයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 31) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ නයිජිරියානු ජාතිකයින් හතරදෙනෙකු (04) සහ ශ්‍රී ලාංකීක ජාතිකයින් දෙ‍දෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් නාවික සැතපුම් 12 ක පමණ දුරකින් ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදා යාත්‍රාවක් නිරීක්ෂණය කොට ඇති අතර, ඒ අනුව නාවික හමුදා යාත්‍රාව මඟින් අදාල සැක කටයුතු යාත්‍රාව පරික්‍ෂා කිරීමට කටයුතු කර ඇත. එහිදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ‍පේසාලේ ප්‍රදේශයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ නයිජිරියානු ජාතිකයින් හතරදෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, එම පුද්ගලයින් රැගෙන ගිය ශ්‍රී ලාංකීක ජාතිකයින් දෙ‍දෙනෙකු ද (02) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නයිජිරියානු ජාතිකයින්ගේ වසය අවුරුදු 26, 27, 32 සහ 42 ක් වන අතර, ශ්‍රී ලාංකීක ජාතිකයින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 23 ක් වන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ යාත්‍රාව තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක මුර සංචාරයන් ඔස්සේ මුහුදු මාර්ග හරහා සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියළු නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇත.