ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‍නෞකා හතරින් (04) දෙකක් වන ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පසුගිය මාර්තු 27 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාලසීමාව තුළදී එහි නැව් මුළුව ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ පුහුණු ක්‍රියාකාරකම් රැසකට මෙන්ම තවත් වැඩසටහන් කිහිපයකට සහභාගී විය. ඒ අනුව නෞකාවන්හි කාර්ය මණ්ඩලය පසුගිය මාර්තු 24 වන දින විධාන කිමිදුම් ‍දෙපාර්තමේන්තුව (නැගෙනහිර) හි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී කිමිදුම් අභ්‍යාසයකට ද සහභාගීවන ලදී. ‍එමෙන්ම මාර්තු 25 වන දින උදෑසන ‘තඨාකාංගණ ධාවනය’ සඳහා එක් වූ නෞකාවන්හි කාර්ය මණ්ඩලය අනතුරුව ත්‍රිකුණාමලය පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියසදී ගුණ සමරු උත්සවයකට සහභාගිවන ලදී. තවද, මාර්තු 25 වන දින පාසැල් දරුවන් හට නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවකට ද අවස්ථාව ලබාදී තිබූ අතර, එම අවස්ථාව පාසල් දරුවන් හට නැවුම් අත්දැකීමක් විය.

එමෙන්ම ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් දිවයිනෙන් පිටත්ව යන මොහොතේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘ශක්ති’ නෞකාවන් සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක් සඳහා එක් වූ අතර, එහිදී ‍‍නෞකා දෙකක් කඹයක් ආධාරයෙන් දුර හා ස්ථානය සමාන්තරව පවත්වා ගනිමින් යාත්‍රා කිරීම ඇතුළු නාවික අභ්‍යාසයන් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් සිය රට බලා පිටත්ව යන ලදී.

විධාන කිමිදුම් ‍දෙපාර්තමේන්තුව (නැගෙනහිර) හි නිරීක්‍ෂණ චාරිකාව

















‘තඨාකාංගණ ධාවනය’ එක් වූ අවස්ථාව

















ත්‍රිකුණාමලය පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියසදී ගුණ සමරු උත්සවය

පාසැල් දරුවන් විසින් නෞකාවන්හි සිදු කළ නිරික්‍ෂණ චාරිකාව

















ඒකාබද්ධ නාවික අභ්‍යාසය සහ නෞකාවන්හි පිටත්වීම